• සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රාජ්‍ය ආයතන 8ක් සමග සංචාරක සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි.
  • කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන
  • ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජන අනුමත වෙයි
  • ඉතිරි ආයෝජන කඩිනමින් අනුමත වීමට පියවර

කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම වසර 2ක තුල ලැබුනු සංචාරක ආයෝජන සංඛ්‍යාව 99කි. මෙම ආයෝජන වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජන අනුමත කල බවත් එලෙස අනුමත කරනු  ලැබූ ආයෝජන සංඛ්‍යාව 59ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම යටතේ රාජ්‍ය ආයතන 8ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීමේ අවස්ථාවට අද (26) පෙරවරුවේ එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය. 

සංචාරක ආයෝජන කඩිනම් කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතන සමග සංචාරක සංවර්ධන අධිකාරිය මෙම අවබෝධතා ගිවිසුම් වලට එළඹිනි. මෙම වැඩපිලිවෙල යටතේ ආයෝජන මණ්ඩලය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබේ. වෙලඳ නාවික ලේකම් කාර්යාලය, සිවිල් ගුවන්සේවා අධිකාරිය කොළඹ මහ නගර සභාව සමග ඉදිරියේදී ගිවිසුම් වලට එළඹීමට නියමිතයි. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සමග ද අදාල ගිවිසුම් අත්සන් කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතියි.

සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබඳතා ඒකකය ලෙස නව ඒකකයක් ද හඳුන්වා තිබේ. එම ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේදී ක්‍රියාත්මක රාජ්‍ය ආයතන 15ට අවශ්‍ය වන තොරතුරු ඇතුලත් පොදු අයදුම්පතක් ද සකස් කර ඇත. මේ අනුව  සංචාරක ආයෝජන අනුමත කිරී‍මේදී පැවැති ප්‍රමාදයන් අවම කිරීමට රජය කටයුතු කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ස්වයංක්‍රීය සංචාරක ආයෝජන  ව්‍යාපෘති කලමනාකරණ ක්‍රමවේදයක් මේ වනවිට සකස් කෙරෙමින්  පවතියි.  එය මැයි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කීවේය. මේ පිලිබඳව ප්‍රාදේශීය මට්ටමින් පුහුණු වැඩසටහන් ද සැලසුම් කර තිබේ. වැඩිදියුණු කල ක්‍රියාවලිය පිලිබඳ දේශීය ආයෝජකයන් දැනුවත් කෙරෙන අතර සංචාරක ආයෝජන වැඩි කිරීමේ අරමුණින් අලෙවි කරන ප්‍රචාරක වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ඇමතිවරයා කියා සිටියේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී  වැඩිදුරටත් පෙන්වා දුන්නේ පසුගිය 2010 ඔක්තෝම්බර් මස සිට 2021 දෙසැම්බර් මාසය දක්වා සංචාරක ආයෝජන 1006ක් ලැබී ඇති බවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7571.38කි. එහෙත් එම කාලය තුල අනුමත වී ඇත්තේ සංචාරක ආයෝජන 457ක් පමණි. ඇමරිකානු ඩොලර් මිලියන 3848.21ක ආයෝජන මෙලෙස අනුමත වී තිබේ. එමගින් තහවුරු වන්නේ සංචාරක ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේ පැවැති ප්‍රමාදය බවත් එය අවසන් කිරීමට රජය සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවත් රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මෙහි දී සඳහන් කලේ විධිමත් ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියක් මගින් ක්‍රියාපටිපාටි, කාල රාමු,  පිරිවැය සහ අවශ්‍ය ලියකියවිලි අඩුකෙරෙන බවයි. මේ සඳහා නවීන තාක්ෂණය භාවිතා කෙරෙ‍න බවද ඔහු සඳහන් කලේය. සංචාරක ව්‍යාපාරය මෙරට තුන්වන ඉහළම විදේශ ආදායම උත්පාදනය කරයි. එබැවින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංචාරක ආයෝජන වැඩිකිරීමේ අවශ්‍යතාව රජය වටහාගෙන ඇති බවත් ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය කියා සි‍ටියේ මෙම ව්‍යාපෘතිය සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනස් කරනු ලබන වැඩසටහනක් බවයි. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් සිටින අවස්ථාවක ඒ සඳහා සංචාරක ආයෝජන ද වැඩි කල යුතු බව ඇය පෙන්වා දුන්නාය. සංචාරක ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය  ආයතන 43ක් පලාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ වන අතර ඒ ඒ ව්‍යාපෘතිය අනුව එක් ව්‍යාපෘතියකට නියෝජිත ආයතන 15-20ත් අතර සංඛ්‍යාවකින් අනුමැතිය ලබාගැනීම‍ට සිදුවේ.මේ සඳහා යන කාලය අවම කිරීම සඳහාත් තෙවන පාර්ශව සම්බන්ධ වීම නිසා සිදුවන වංචා හා දූෂණ වැලැක්වීම සඳහාත් නව වැඩපිලිවෙල ඉවහල් වන බව ඇය පෙන්වා දුන්නාය.පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී කතා කලේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය ඒ.ජී.අමරසිංහ , වන ජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂන ජෙනරාල් ආචාර්ය  කේ.එම්.ඒ. බණ්ඩාර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්දන, වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු කේ.ඩී.එන්.සිරිවර්ධන, ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත නානායක්කාර, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු අදාල ගිවිසුම් වලට අත්සන් තැබූහ.

 

WhatsApp Image 2022 01 26 at 14.12.18

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය